03. හුදෙයිබියා ගිවිසුම හා අබූ ජන්දල්, අබූ බෂීර් රලියල්ලාහු අන්හුමා යන සහාබාවරුන්ගේ වීර ක්‍රියාදහම

රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණෝ උම් රා ඉටු කරන අදහසින් හිජ් රි හයවන වසරේ මක්කා නගරය බලා ගියහ.මෙය දැනගත් මක්කාවේ කාෆිර්වරු එතුමා මක්කාවට පැමිණීම තමන්ට නින්දාවක් යැයි සිතූහ. කාෆිර්වරුන් එතුමාව අතරමගදී වැළැක්වූ නිසා " හුදෙයිබියා" නම් ස්ථානයේ නතරවීමට සිදුවිය. රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් වෙනුවෙන් තමන්ගේ ජීවිත පවා කැපකිරීම ආඩම්බරයක් ලෙස සැලකූ එතුමාණන්ගේ සහාබාවරුන් සතුරන් සමග සටන් කිරීමට සූදානම් වූහ.

නමුත් එතුමණෝ මක්කා වාසීන්ගේ යහපත සලකා ඔවුන් සමග සටන් කිරීමට අකමැති වූහ. සාමය ඇති කිරීමට උත්සාහ කළහ. සහාබාවරුන් වීරත්වයෙන් යුතුව සටනට සූදානම්ව සිටියදීත් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණෝ කාෆිර්වරුන් සමග ඇතිකරගත් ගිවිසුමේ ඔවුන්ගේ කොන්දේසි සියල්ල පිළිගෙන ඔවුන්ගේ ඉල්ලීම් වලට ඉඩ දුන්හ. රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් මෙසේ කාෆිර්වරුන්ගේ ඉල්ලීම් වලට ඉඩදී ගිවිසුමක් ඇතිකර ගැනීම ගැන සහාබාවරුන්ට තෘප්තියක් ඇති නොවීය. නමුත් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන්ගේ අණ ඉදිරියේ ඔවුන්ට කුමක් කළ හැකිද? ඔවුහු තම ජීවිත පරිත්‍යාග කිරීමටත් අණට කීකරු වීමටත් සූදානම්ව සිටියහ. උමර් රලියල්ලාහු අන්හු තුමාණන් වැනි වීරයන්ටද එම අණට කීකරු වීමට සිදුවිය.

එම ගිවිසුමේ පහත සඳහන් කොන්දේසියක්ද අඩංගුවී තිබුණි. එනම් මක්කාවේ කාෆිර්වරුන්ගෙන් කවරෙකුහෝ මුස්ලිම් වී ( හිජ්රත් කර ) මදීනාවට පැමිණියහොත් ඔහුව ආපසු මක්කාවටම යැවිය යුතුය. මුස්ලිම්වරුන්ගෙන් කවරෙකුහෝ ඉස්ලාමය අත්හැර ( අල්ලාහ් ආරක්ෂා කරත්වා! ) මදීනාවේ සිට මක්කාවට පැමිණියහොත් ආපසු මදීනාවට යවනු නොලැබේ.

මේ අතර මක්කාවේ ඉස්ලාමය වැළඳගෙන සිටි අබූ ජන්දල් රලියල්ලාහු අන්හු තුමාට නොයෙක් දුෂ්කරතා වලට මුහුණ පෑමට සිදුවිය. මෙම ගිවිසුම ලියා අවසන් වූයේද නැත. එම සහාබිවරයා, " මුස්ලිම්වරුන්ගේ ආරක්ෂාව යටතට පැමිණියහොත් මෙම කරදරවලින් අත්පා බැඳ තිබෙන තත්වයෙන්ම එහි ආවේය.

අබූ ජන්දල් රලියල්ලාහු අන්හු තුමාගේ පියා වන සුහෙයිල් නමැත්තා කාෆීර්වරුන් වෙනුවෙන් එම ගිවිසුමට භාරකරුවෙකු ලෙස සිටියේය. එහෙත් ඔහු මුස්ලිම්වරයෙකු නොවීය. ( මක්කා ජයග්‍රහණයේදී ඔහු ඉස්ලාමය වැළඳ ගත්තේය ) ඔහු, තම පුතාව දුටු වහාම ඔහුගේ කම්මුලට පහරක්දී නැවත මක්කාවට යන ලෙස බල කළේය.

මෙම තත්වය දුටු රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණෝ " තවම ගිවිසුම ලියා අවසන් වූයේද නැත. ඒ අතර මෙසේ බල කරන්නේ කුමකටදැ?" යි ඔහුගෙන් ඇසීය.නමුත් ඔහු තමාගේ කීමෙහි ස්ථිරවම සිටියේය. පසුව රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් " මාගේ ඉල්ලීමට හෝ මොහුව භාරදෙන්නැයි ඉල්ලා සිටියද, ඔහු තමාගේ අදහස වෙනස් නොකළේය. අබූ ජන්දල් රලියල්ලාහු අන්හු තුමා මුස්ලිම්වරුන් අමතා, මා මුස්ලිම් වූ නිසා නොයෙක් කරදර විඳ දැන් මෙහි පැමිණ ඇත්තෙමි. මා නැවතත් කාෆිර්වරුන් වෙතට යවන්නේදැයි ඉතා වේදනාවෙන් ශබ්ද නගා කීය.එම අවස්ථාවේදී මුස්ලිම්වරුන්ගේ සිත්වල කුමන සිතුවිලි ඇතිවන්නට ඇත් දැයි අල්ලාහු තආලා පමණක් දනියි. නමුත් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන්ගේ අණ පරිදී අබූ ජන්දල් රලියල්ලාහු අන්හු තුමා නැවතත් මක්කාවටම ගියේය. ඔහුට ඉවසීමෙන් සිටින ලෙසද, අල්ලාහ් තආලා ඔබගේ කරදර නැතිවීමට මගක් පාදනු ඇතැයි ද රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් ඔහුව සනසා පිටත් කර යැවීය.

හුදෙයිබියා ගිවිසුම අවසන් වී මදීනාවට පැමිණි පසු අබූ බෂීර් රලියල්ලාහු අන්හු තුමාද මුස්ලිම් වී මදීනාවට පැමිණියේය. මක්කා කාෆිර්වරුන් ඔහුවද ආපසු කැඳවාගෙන ඒමට දෙදෙනෙකුව මදීනාවට යැවූහ. ගිවිසුම අනූව ඔහුට මක්කාවට යන ලෙස රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණෝ කීහ. අබූ බෂීර් රලියල්ලාහු අන්හු තුමා " යා රසූලල්ලාහ් ! මම මුස්ලිම් වී මෙහි පැමිණියෙමි.  නැවතත් මාව කාෆිර්වරුන් වෙතම යවා තබන්නේදැයි ? " ඇසීය. එවිට ඔහුටද " ඉවසීමෙන් සිටින්න. ඉන්ෂා අල්ලාහ් ඉක්මනින් ඔබටද මගක් පැදෙනු ඇතැයි" රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණෝ සැනසිලි වදන් කියා පිටත්කර යැවූහ.

අබූ බෂීර් රලියල්ලාහු අන්හු තුමා එම කාෆීර්වරුන් දෙදෙනා සමග පිටත්වී ගියේය. අතර මගදී එතුමා එම දෙදෙනාගෙන් කෙනෙකු අමතා  " මිතුර! ඔබගේ මෙම කඩුව ඉතා අගනා එකක් ලෙස පෙනේ" යැයි ප්‍රශංසා කර කීය. ප්‍රශංසාවට ලක්වූ තැනැත්තා එම කතාවෙන් තමන්ව අමතක කර සතුටට පත්වීම ස්වභාවිකය. ඔහුද කොපුවෙන් කඩුව ගෙන " එසේය, මා මෙය කිහිපදෙනෙක් වෙත උපයෝගී කර අත්දැකීම් ලබා ඇත්තෙමියි"  කියා එය අබූ බෂීර් රලියල්ලාහු අන්හු තුමා අතට දුන්නේය. එතුමා එවෙලේම එම කඩුවෙන්ම ඔහුව කපා මරා දැම්මේය. මෙය දුටු ඔහුගේ අනෙක් මිතුරා ඊළගට එල්ලවෙන කඩු පහර මට වැදේ යැයි බියවී වහාම මදීනාවට දිවගොස් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් ඉදිරියට පැමිණ. " මාගේ මිතුරා මරණයට පත්විය. ඊළගට මගේ වාරය වියහැකිය" යනුවෙන් සියල්ල විස්තර කළේය. මඳ වේලාවකින් අබූ බෂීර් රලියල්ලාහු අන්හු තුමාද එහි පැමිණ,

" යා රසූලල්ලාහ්! ඔබ තුමා ගිවිසුම අනූව මාව ඔවුන් සමග මක්කාවට යවා තැබූහ. ඔබතුමාගේ වගකීම එයින් අවසන් විය. ඉන්පසු වගකීම මට භාරගැනීමට සිදුවුණි. එම මක්කා වැසියන් හා මා අතර කිසිම ගිවිසුමක් නැත.  ඔවුන් මාව ඉස්ලාමයෙන් වළක්වති.  එම නිසා මෙලෙස කළෙමි" යි කීය.

මෙය ඇසූ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණෝ මොහුට උදව්වට කවරෙකු හෝ සිටියහොත් සටනක් ඇතිවීමට හේතුවේ යැයි කීහ.

මෙය ඇසූ ඔහු " නැවතත් මක්කාවේ සිට මා සොයාගෙන කවරෙකු හෝ පැමිණියහොත් මට ආපසු එහි යාමට සිදුවේ" යැයි සිතා මදීනාවෙන් පිටවී වෙරළබඩ තැනකට පැමිණ එහිම ජීවත් විය. මෙම සිද්ධිය මක්කා වැසියන්ට දැනගන්නට ලැබුණි. හුදෙයිබියා ගිවිසුමේදී ආපසු මක්කාවට යවන ලද අබූ ජන්දල් රලියල්ලාහු අන්හු තුමාද කාෆීර්වරුන්ට නොදැනෙන පරිදී සැගවී අබූ බෂීර් රලියල්ලාහු අන්හු තුමාසිටි තැනට පැමිණියේය. මෙසේ ඉස්ලාමය වැළඳගත් සියළු දෙනාම අබූ බෂීර් රලියල්ලාහු අන්හු තුමා වෙතට ගොස් ඔහු සමග එකතු වූහ.

ටික දිනකින් එහි කුඩා කණ්ඩායමක් එක් රැස් විය. එහි ඔවුන්ට කෑමට කිසිම දෙයක් නොතිබුණි. ගස් කොළන්, වතුපිටි කිසිවක් නොමැති කාන්තාරයක්ව තිබුණි. මෙසේ කාන්තාරයේ රැඳීසිටි මොවුන්ට කොපමණ දුක් කරදර විඳීමට සිදුවූයේද යන්න අල්ලාහ් තආලා පමණක් දනියි. නමුත් කුමන අපරාධකරුවන්ගේ අසාධාරණ ක්‍රියාවලින් පලා ආවේද, ඔවුන්ගෙන් පළිගැනීමේ අවස්ථාවක්ද උදාවිය.

ඔවුන් රැඳීසිටි මාර්ගයෙන් පැමිණෙන අයට විරුද්ධව සටන් කළහ. මේ නිසා කිහිප වතාවක්ම මක්කාවාසීන් පහර ලැබූ හේතුවෙන් ඔවුන් බියට පත්වී, යටහත්ව අල්ලහ් තආලාගේ නාමයෙන් හා නෑදෑකමේ නාමයෙන් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමා වෙත දූත පිරිසක් යවා එම කණ්ඩායම මදීනාවේ සිටින අය වෙත කැඳවා ගන්නා ලෙස දැන්වූහ.

එමනිසා තමන්ගේ ගමනාගමනයට අවහිරයක් නොවන බවද දැන්වූහ. රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් අබූ බෂීර් රලියල්ලාහු අන්හු තුමාගේ කණ්ඩායමට මදීනාවට එනලෙස දන්වා ලියන ලද ලිපිය ලැබෙන විට අබූ බෂීර් රලියල්ලාහු අන්හු තුමා මරණාසන්න මොහොතේ පසුවූ බවත්, එම ලිපිය ඔහුගේ අතේ තිබියදීම මරණයට පත්වූ බවත් ඉතිහාස ග්‍රන්ථ කතුවරුන් ලියා තිබේ. ( අල්ලාහ් තආලා එතුමාණන් කෙරෙහි සතුටට පත්වේවා ! )

උගත යුතු පාඩම :-

ආගමක් සත්‍ය එකක් වී, එය පිළිපදින මිනිසාද එහි ස්ථිරව සිටින විට කොපමණ විශාල බලවේගයකට වුවද කිසිම බලපෑමක් කළ නොහැක. කෙනෙකු මුස්ලිම්ව සිටින තාක් ඔහුට උදව් කරන බවට අල්ලාහ් තආලා පොරොන්දුවී ඇත.



No comments:

Post a Comment