04. බිලාල් රලියල්ලාහු අන්හුතුමා ඉස්ලාමය වැළඳ ගැනීම නිසා ඇතිවූ දුෂ්කරතා

බිලාල් රලියල්ලාහු අන්හුතුමා ප්‍රසිද්ධ සහාබිවරයෙකි. එතුමා මස්ජිදුන් නබවියේ ස්ථිර මුඅzස්zසින් ලෙස සිටියේය. ආරම්භයේදී කාෆිර්වරයෙකු යටතේ වහලෙකු ලෙස සිටි මෙතුමා ඉස්ලාමය වැළඳගත් හේතුවෙන් නොයෙක් ආකාරයේ දුක් කරදර වලට මුහුණ පෑවේය. මුස්ලිම්වරුන්ගේ දරුණු සතුරෙකුවූ උමෙයියත් ඉබ්නු :හලෆ්, දැඩි උෂ්ණ කාලයේ දහවල් වේලාවේදී රත්වූ වැලිමත උඩුකුරු අතට පෙරලා සෙලවිය නොහැකි ආකාරයට විශාල කළුගලක් පපුව මත තබා "මෙලෙසම මරෙණු ! ජීවත් වීමට ආශාව තිබේනම් ඉස්ලාමය අත්හරිනු" යැයි පැවසුවේය.

නමුත් බිලාල් රලියල්ලාහු අන්හුතුමා මේ අවස්ථාවේදීත් " අහද්, අහද් " (නැමදීමට සුදුස්සා එක්කෙනෙකි, එක්කෙනෙකි ) යනුවෙන් කියමින් සිටියේය. රාත්‍රියෙහි දම්වැලින් බැඳ කසපහර දෙනු ලැබේ. පසුදින රත්වූ වැලිමත තබා එම තුවාල වැඩිවීම සඳහා පහර පිට පහර දෙනු ලැබේ. මන්දයත්, එතුමා වේදනාව ඉවසාගත නොහැකිව ඉස්ලාමය අත්හැරිය යුතුයි, නැත්නම් වේදනාවෙන් මරණයට පත්විය යුතුයි, යන්න ඔවුන්ගේ අදහස විය. නමුත් මෙම දඩුවම් දුන් අය වෙහෙසට පත්වුවද, එතුම එම දඩුවම් විඳදරා ගත්තේය.

බිලාල් රලියල්ලාහු අන්හු තුමාණන්ට දඩුවම් දීමේදී සමහරවිට අබූ ජහ්ල්ගේ වාරය පැමිණේ. සමහරවිට උමෙයියත් ඉබ්නු :හලෆ්ගේ වාරය පමිණේ. තවත් සමහරවිට අනෙකුගේ වාරය පැමිණේ. සියළුදෙනාම තම ශක්තිය යොදවා උපරිම වේදනාව ලබා දීමට උත්සාහ කලහ. බිලාල් රලියල්ලාහු අන්හුතුමාගේ මෙම තත්වය දුටු අබූබක්ර් සිද්දීක් රලියල්ලාහු අන්හුතුමා එතුමාව මිලයට ගෙන නිදහස් කළේය.

උගත යුතු පාඩම :-

අරාබි දේශයේ පිළිම වඳින්නන්, තමන්ගේ පිළිම නැමදීමට සුදුසු ඒවා බව කියමින් සිටියහ. නැමදීමට සුදුස්සා අල්ලාහ් තආලා පමණක් යන ඉස්ලාමයේ ඒකීයභාවය ඔවුන්ගේ පිළිම වැඳීමට හාත්පසින්ම විරුද්ධ එකක් විය. මෙම හේතුවෙන් බිලාල් රලියල්ලාහු අන්හු තුමාද " අහද්, අහද්" ( එක්කෙනෙකි, එක්කෙනෙකි ) යන වදන කියමින් සිටියේය. මෙය අසීමිත ආදරය නිසා පිටවූ වචනයකි.

ලොවේ බොරු ආදරය දක්වන අය අපි දකින්නෙමු. කවරෙකුට හෝ යම්කෙනෙකු කෙරෙහි ආදරය ඇතිවූ විට ඔහුගේ නම කීමෙනුත් සතුටක් ලබයි. කිසිම ප්‍රයෝජනයක් නොමැතිව නිතර නිතර එම නම කියමින්ම සිටියි. ලොවේ බොරු ආදරයේ තත්වය මෙසේ නම්, දීන් හා දුන්යාවේ ප්‍රයෝජන ගෙනදෙන අල්ලාහ් තආලා කෙරෙහි ආදරය දක්වීම ගැන කුමක් කිව යුතුද?

මේ හේතුවෙන් බිලාල් රලියල්ලාහු අන්හුතුමා නොයෙක් දුක්කරදර දෙන අවස්ථාවේදීත්, මක්කවේ කුඩා ළමුන් ලවා එතුමාව වීදියක් වීදියක් පාසා ඇදගෙන යන අවස්ථාවේදීත් " අහද්, අහද්" යන වචනය එතුමා පවසමින්ම සිටියහ.

මෙම දුක් කරදරවලට දායාදයක් වශයෙන් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන්ගේ සමූහයේ මුඅzස්zඉන් ලෙස කටයුතු කිරීමේ භාග්‍ය එතුමාට ලැබුණි. ගමේ සිටින විටත්, ගමනේදීත් අzසාන් කීමේ වගකීම එතුමාවෙත පවරා තිබුණි. රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන්ගේ මරණයෙන් පසු එතුමාණන්ගේ තැන හිස්ව තිබීම බලමින් මදීනාවේ රැඳීසිටීම බිලාල් රලියල්ලාහු අන්හු තුමාට විශාල අපහසුතාවයක් විය. මේ හේතුවෙන් තම ජීවිතයේ ඉතිරි කාලය අල්ලාහ් තආලාගේ මාර්‍ගයේ ගත කිරීමට සිතා මදීනාවෙන් පිටවී ගොස් දිගු කලක් ගතවන තුරු ආපසු නොපැමිණියේය.

රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් වරක් සිහිනෙන්, " බිලාල් ! මේ කුමන අපරාධයක්ද? අපවෙත මේ දක්වා ඔබ නොපැමිණියේ මන්ද? යනුවෙන් පැවසීම අසා නින්දෙන් අවදි විය. පසුව, එතුමා මදීනාවට පැමිණියේය. මදීනවේ හසන් හා හුසෙයින් රලියල්ලාහු අන්හුමා යන දෙදෙනා " අzසාන්" කියන ලෙස ආදරයෙන් ඉල්ලා සිටියහ. එම කුඩා ළමුන් දෙදෙනාගේ කීමට පිටුපෑමට නොහැකිව අzසාන් කියන්නට පටන් ගත්තේය. රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාගේ කාලයේ අසන ලද අzසාන් ශබ්දය ඇසූ මදීනා වැසියන් අතර නොසන්සුන්තාවයක් ඇතිවිය.  කාන්තාවන්ද හඩමින් නිවෙස්වලින් පිටතට පැමිණියහ.

ටික කලක් නතරවී සිටි බිලාල් රලියල්ලාහු අන්හුතුමා මදීනාවෙන් ආපසු ගියේය. හිජ්රි විසිවන වසරේ " දිමිස්ක්" නගරයේදී මරණයට පත්විය.

No comments:

Post a Comment