05. අබූzසර් කිෆ්ෆාරි රලියල්ලාහු අන්හුතුමා ඉස්ලාමය වැළඳ ගැනීම

අබූzසර් කිෆ්ෆාරි රලියල්ලාහු අන්හුතුමා ප්‍රසිද්ධ සහාබිවරයෙකි. පසු කාලයේදී මෙතුමා මෙලොව ආශාවෙන් තොර ආගමික පඩිවරුන්ගෙන් කෙනෙකු බවට ප්‍රසිද්ධියට පත්විය. අබූzසර් කිෆ්ෆාරි රලියල්ලාහු අන්හුතුමා අන් කිසිවෙකු විසින් ලබා ගැනීමට නොහැකි තරම් ආගමික දැනුමක් ලබා එය ආරක්ෂා කරගත් බව අලි රලියල්ලාහු අන්හු තුමා පවසා ඇත.


රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන්ට නබිත්වය ලැබී ඇතැයි යන ආරංචිය පළමුවෙන් එතුමා දැනගත් විට, " මට වහී පැමිණේ" යැයි පවසන තැනැත්තා පිළිබඳ ඔහුගේ සියළු විස්තරද, ඔහු පවසන වදන්ද, විමසිල්ලෙන් බලා ඒමට තම සහෝදරයාව මක්කාවට යැවීය. ඔහු මක්කාවට පැමිණ තොරතුරු සියල්ල දැනගෙන තම සහෝදරයා වෙත ගොස්, " මම ඔහුව හොඳ ගතිගුණ වලින් පිරුණු කෙනෙකු ලෙසත්, එම ගතිගුණ අන් අයටද පිළිපදින ලෙස කියන්නෙකු ලෙසත් දුටුවෙමි. තවද කවි වලට හෝ ශාස්ත්‍රකරුවන්ගේ කීමට සමාන නොවන වදන් එතුමාගෙන් ඇසුවෙමි " යැයි කීවේය.


නමුත්, අබූzසර් කිෆ්ෆාරි රලියල්ලාහු අන්හුතුමා ඔහු කී දෙයින් සෑහීමට පත්වූයේ නැත. එම නිසා ගමනට අවශ්‍ය බඩු බාහිරාදිය සූදානම් කරගෙනඔහු මක්කාවට පැමිණ මස්ජිදුල් හරාම් වලට ගියේය. රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් කවුරුන්දැයි ඔහු නොදනී. අනුන්ගෙන් ඇසීමද, සුදුසු නොවේ යැයි සිතා එදින සවස් වන තුරු එහි ගත කළේය. සවස් වේලාවේ එහි පැමිණි අලි රලියල්ලාහු අන්හු තුමා අබූzසර් කිෆ්ෆාරි රලියල්ලාහු අන්හුතුමාව දැක ඔහු පිටතින් පැමිණි අයෙකු යැයි දැන තම නිවසට කැඳවාගෙන ගොස් ආගන්තුක සත්කාර කළේය. මගීන්, අනාථ වූවන්, දිළිඳුන්, වැනි අයව දුටු විට ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකිරීම එම උත්තමයින්ගේ උසස් සිරිතක් විය.


එසේ පැමිණි අයෙකුගෙන් ඔබ කව්ද? ආවේ කුමකටද? යන්න ඇසීම පවා අනවශ්‍ය දෙයක් යැයි ඔවුහු සිතූහ. එසේම අබූzසර් කිෆ්ෆාරි රලියල්ලාහු අන්හුතුමාද තමන් ගැන කිසිවක් නොකීවේය. පාන්දරින්ම අවදිවූ අබූzසර් කිෆ්ෆාරි රලියල්ලාහු අන්හුතුමා නැවතත් මස්ජිදුල් හරාමයට පැමිණියේය. රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් ගැන තොරතුරු දැනගැනීමට නොහැකිවූ නිසා එදිනද එහිම ගත කළේය.



ඒ මන්දයත් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන්ට සතුරුකම් කළ අයගේ සිද්ධීන් ප්‍රසිද්ධ වී තිබුණි. රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන්ට හා එතුමාගේ අනුගාමිකයන්ට නොයෙක් ආකාරයේ වද හිංසා විඳීමට සිදුවූ බව ඔහු දැනගෙන සිටියේය. මේ නිසා සත්‍ය තොරතුරු දැනගැනීමට නොහැකි වෙනවා පමණක් නොව නිකරුණේ දුක් කරදර වලට ලක්වීමට ඉඩ තිබේ යන හැගීමද ඔහුට ඇතිවිය.


එදින හවසද එහි පැමිණි අලි රලියල්ලාහු අන්හුතුමා අබූzසර් කිෆ්ෆාරි රලියල්ලාහු අන්හුතුමාව දැක, ඔහු පැමිණි අරමුණ ඉටුවී නැතැයි සිතා එදිනද තම නිවසට කැඳවාගෙන ගොස් ආගන්තුක සත්කාර කළේය. එදින රාත්‍රියේද කිසිම දෙයක් විමසීමට අවස්තාවක් ලැබුණේ නැත.


තුන්වන දිනයේද මෙලෙසම සිදුවූ විට අලි රලියල්ලාහු අන්හුතුමා අබූzසර් කිෆ්ෆාරි රලියල්ලාහු අන්හුතුමාගෙන් " ඔබ පැමිණියේ කුමකටද? ඔබගේ අරමුණ කුමක්ද? යි විමසුවේය. " ඔබ මා අසන දේ ගැන ඇත්ත කිව යුතු යැයි අලි රලියල්ලාහු අන්හුතුමාගෙන් දිවුරා පොරොන්දුවක් ලබාගත් පසු අබූzසර් කිෆ්ෆාරි රලියල්ලාහු අන්හුතුමා තමා පැමිණි අරමුණ විස්තර කළේය.


එය දැනගත් අලි රලියල්ලාහු අන්හුතුමා " කිසිම සැකයක් නැත, එතුමා අල්ලාහු තආලාගේ දූතයාණන්වේ. මම හෙට උදෑසන එතුමාණන්ගේ සමූහයට යමි. එවිට ඔබද මා සමග පැමිණෙන්න. මා ඔබව කැඳවාගෙන යන්නෙමි. නමුත් මෙහි එතුමාණන්ට බලවත් ලෙස විරෝධතා තිබෙන නිසා ඔබ මා සමග එන අවස්ථාවේදී අනතුරක් කළ හැකි කිසිවෙකු දුටුවිට, මා මුත්‍රා කිරීමට හෝ පාවහන් සකස් කිරීමට මෙන් නතරවෙමි. එවිට ඔබ මා සමග නතර නොවී දිගටම ගමන් කරන්න" යැයි කීවේය. 


එලෙසම පසුවදා උදෑසනම අලි රලියල්ලාහු අන්හුතුමා පසුපසින් ගිය අබූzසර් කිෆ්ෆාරි රලියල්ලාහු අන්හුතුමා රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් සිටි තැනට පැමිණියේය. එතුමාණන් සමග කතාබස් කිරීමෙන් පසු එම අවස්ථාවේදීම ඉස්ලාමය වැළඳගත්තේය. 


අබූzසර් කිෆ්ෆාරි රලියල්ලාහු අන්හුතුමාට සතුරන්ගෙන් කරදර කිසිවක් ඇති නොවිය යුතුයි යන අදහසින් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් " ඔබ ඉස්ලාමය වැළඳගත් බව දැනට ප්‍රසිද්ධ නොකර ඔබේ සමාජය වෙත ආපසු යන්න. අපට ජය අත්වූ පසු අපත් සමග පැමිණ එක්වීමට හැක." යැයි කීහ. 


එවිට අබූzසර් කිෆ්ෆාරි රලියල්ලාහු අන්හුතුමා " යා රසූලල්ලාහ් ! මාගේ ප්‍රාණය කවරෙකු වෙත තිබේද, එම අල්ලාහ් වෙත දිවුරා කියමි. මෙම කලීමාව, ඊමානය නැති අය අතර ශබ්ද නගා කියමි" පවසා එතනින් පිටත්වී මස්ජිදුල් හරාම් වෙත පැමිණ ශබ්ද නගා,




أشهد أن لا إله الله و أشهد إن محمدا رسول الله 




"අෂ්හදු අල්ලාඉලාහ ඉල්ලල්ලාහු ව අෂ්හදු අන්න මුහම්මදර් රසූලුල්ලාහ් (නැමදීමට සුදුස්සා අල්ලාහ් තආලා හැර වෙන කිසිවෙකු නොමැති බවටත්, මුහම්මෙද් නබි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් ඔහුගේ දූතයාණන් වන බවටත්, මම සාක්ෂි දරමි.) " යැයි කීවේය. එවිට කුමක් සිදු වන්නට ඇත්ද? හතර දෙසින් ඔහුව වට කරගත් කාෆීර්වරු මාරාන්තික ලෙස ඔහුට පහර දුන්හ.

එවිට එහි පැමිණි, එතෙක් ඉස්ලාමය වැළඳ නොගත් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන්ගේ සුළු පියා වූ අබ්බාස් රලියල්ලාහු අන්හු තුමා අබූzසර් කිෆ්ෆාරි  රලියල්ලාහු අන්හු තුමාව බේරා ගැනීම සඳහා එතුමා මත වැතිරී,

 "මේ මොන අපරාධයක් කරන්නේද? මෙම මිනිසා :කිෆ්ෆාරි ගෝත්‍රයට අයත් කෙනෙකි. මෙම ගෝත්‍රිකයින් සිරියා දේශයට යන මාර්ගයේ ජීවත් වෙති. ඔබලාගේ වෙළඳාම් හා අනෙකුත් අවශ්‍යතා සිරියා දේශය හා සම්බන්ධව පවතී. මොහු මරණයට පත් වුවහොත් සිරියා දේශය හා සම්බන්ධ ඔබලාගේ ගමන් බිමන් වලටද අවහිර වනු ඇත. " යැයි කීවේය.

මෙය ඇසූ කාෆීර්වරුන් සිරියා දේශය සමග සම්බන්ධකම් තිබෙන නිසා අපගේ සියළු අවශ්‍යතා සම්පූර්ණ වේ. එම මාර්ගය වැළකී ගියහොත් අපට විශාල කරදර ඇතිවීමට ඉඩ තිබේ යැයි කල්පනා කර අබූzසර් කිෆ්ෆාරි  රලියල්ලාහු අන්හු තුමාව අත්හැර දමූහ.


පසු දිනද මස්ජිදයට නැවත පැමිණි අබූzසර් කිෆ්ෆාරි  රලියල්ලාහු අන්හු තුමා ශබ්ද නගා කලීමාව කීවේය. නැවතත් එම ශබ්දය ඇසූ කාෆීර්වරු ඉවසිය නොහැකිව අබූzසර් කිෆ්ෆාරි  රලියල්ලාහු අන්හු තුමාවෙත කඩාපැන පහර දුන්හ. පෙරදින මෙන්ම අබ්බාස් රලියල්ලාහු අන්හු තුමා එහි පැමිණ ඔවුන්ව වළක්වා  " ඔබලාගේ වෙළඳාම් මාර්ගය වැසී යනු ඇත " යි පහදා දී අබූzසර් කිෆ්ෆාරි  රලියල්ලාහු අන්හු තුමාව බේරා ගත්තේය.


උගත යුතු පාඩම :-

තමන්ගේ ඉස්ලාමය ප්‍රසිද්ධ නොකළයුතු යැයි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් පවසා තිබියදීත්, අබූzසර් කිෆ්ෆාරි  රලියල්ලාහු අන්හු තුමා මෙසේ ක්‍රියාකළේ සත්‍ය හෙළිදරවු කළ යුතුයි යන බවත් ආශාව නිසාය. මෙම දීන් සත්‍යව තිබියදී කවරෙකුට බියවී මෙය සැගවිය යුතුද? යන්න එතුමාගේ පිරිසිදු චේතනාව විය.

රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් ඉස්ලාමය ප්‍රසිද්ධ නොකරන්න යැයි වැළැක්වූයේ, ඔහුට දුක් කරදර දරාගත නොහැකිවනු  ඇතැයි යන ආදරයෙනි. එසේ නොමැතිව රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන්ගේ අණට පිටුපාන්න ‍‍ධෛර්යයක් සහාබාවරුන්ට නොතිබිණි.


රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන්ද දීනුල් ඉස්ලාමය ප්‍රචාරය කිරීමේදී නොයෙක් වේදනා හා දුක් කරදර විඳ දරාගෙන ඇත. මේ නිසා අබූzසර් කිෆ්ෆාරි  රලියල්ලාහු අන්හු තුමාද තමාට ලබා දුන් වරප්‍රසාදය තෝරා ගැනීම වෙනුවට රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන්ව අනුගමනය කිරීමට මුල්තැනක් දුන්හ.


මෙවැනි කැපවීම් නිසා දීන් හා දුන්යාවේ සියළු ජයග්‍රහණ සහාබාවරුන්ගේ පාද සිප ගත්තේය.ලොවේ සියළුම පෙදෙස් ඔවුන් යටතට පත්විය. ඔවුන්ගෙන් කවරෙකු වුවද මෙම කලීමාව කියා ඉස්ලාමයේ කොඩිය යටතට පැමිණීමෙන් පසු ලොවේ කුමන බලවේගයකට වුවද ඔවුන්ව ඉස්ලාමයෙන් වැළැක්වීමට නොහැකි විය. ඉස්ලාමය ප්‍රචාරය කිරීමේදී ඔවුහු සියළු දුෂ්කරතා විඳදරා ගත්හ.

No comments:

Post a Comment