06. :හබ්බාබ් ඉබ්නු අරත් රලියල්ලාහු අන්හුතුමා විඳින ලද දුෂ්කරතා

:හබ්බාබ් ඉබ්නු අරත් රලියල්ලාහු අන්හුතුමා ඉතා දරුණු වේදනාවලට තමන්ව කැපකර අල්ලාහ් තආලාගේ මාර්ගයේ ඇතිවුනු දැඩි දුක් කරදර සියල්ලම ඉවසා විඳ දරාගහ් උත්තමයින්ගෙන් කෙනෙකි. මුල් කාලයේදීම මෙතුමා පස් හය දෙනෙකුට පසුව ඉස්ලාමය වැළඳගත්තේය. මේ නිසා බොහෝ කාලයක් වනතුරු දුක් කරදර විඳීමට සිදුවිය. තද අව්වේ මෙතුමාව තබා යකඩ ඇඳුම් අන්දවා වේදනාවට ලක් කරණු ලැබීය. එයින් ඇතිවූ උණුසුම නිසා දහඩිය වැගිරෙමින් තිබුණි. බොහෝ විට රත්වූ වැලි පොළවේ උඩුකුරුව තැබීම හේතුවෙන් එතුමාගේ තුනටියෙහි මාංශ පවා උණුවී වැගිරිණි.

මෙතුමා මුෂ්රික් කාන්තාවකගේ වහළෙකුව සිටියේය. තවද මෙතුමා වරින් වර රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන්ව මුණගැසෙන බව දැනගත් විට එතුමාට දඩුවම් කළයුතු යැයි අදහස් කළ එම කාන්තාව යකඩ කැබැල්ලක් ගින්නෙහි දමා රත් කර හිසට තබා වේදනා කළාය. 

වසර කිහිපයකට පසු උමර් රලියල්ලාහු අන්හු තුමා :හලීෆා වූ විටදී :හබ්බාබ් ඉබ්නු අරත් රලියල්ලාහු අන්හුතුමාගෙන් තමන්ට ආරම්භ කාලයේදී විඳීමට සිදුවූ වේදනාව ගැන විස්තර ඇසුවේය. " මාගේ තුනටිය බැලුවහොත් දැනගත හැක " යනුවෙන් පවසා තම තුනටිය පෙන්වූ විට, එය දුටු උමර් රලියල්ලාහු අන්හු තුමා "මෙම තුනටිය මෙන් වෙන කිසිවෙකුගේ තුනටියක් මා දැක නැත්තෙමි" යැයි පැවසීය. එවිට එතුමා " ගිනි අගුරු මත මාව තබා අදිනු ලැබිණි. එවිට මාගේ සිරුරින් වැගිරුණු ලේ මගින් එම ගින්න නිවී යනු ඇත" යි කීවේය. 

මෙසේ තිබියදී ඉස්ලාමය පැතිරී ජයග්‍රහණයේ දොරටු විවෘත වූ විට මෙලොවේදීම අප විසින් විඳින ලද  දුක් කරදර වලට ප්‍රතිඋපකාර නොලැබිය යුතු යැයි දුක් වී අඩයි. වරක් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණෝ නුපුරුදු පරිදී වැඩි වේලාවක් සලාතයේ යෙදුණහ. මෙය දුටු සහාබිවරුන් ඒ සම්බන්දයෙන් විස්තර ඇසූවිට 

" මෙය ආශාව හා බිය මිශ්‍ර වූ සලාතයකි" මෙහිදී මම අල්ලාහ් තආලාගෙන් දුආ තුනක් ඉල්ලුවෙමි. එයින් දෙකක් පිළිගැනුණි. එකක් ප්‍රතික්ෂේප විය. එනම් මාගේ උම්මත්වරුන් සියළු දෙනාමසාගතය හේතුවෙන් විනාශ නොවිය යුතු" යයි දුආ කළෙමි. එය පිළිගනු ලැබීය. 

දෙවැන්න, මාගේ උම්මත්වරුන් මුළුමනින්ම විනාශ කර දමන සතුරකු ඔවුන් වෙත පැවරිය නොයුතු" යැයි දුආ කළෙමි. එයද පිළිගනුණි. 

තුන්වැන්න, " මාගේ උම්මත්වරුන් ඔවුන් අතර රණ්ඩු දබර නොකළ යුතුයි" යැයි දුආ කළෙමි. එය ප්‍රතික්ෂේප විය. යනුවෙන් පිළිතුරු දුන්හ.


:හබ්බාබ් ඉබ්නු අරත් රලියල්ලාහු අන්හුතුමා හිජ්රි තිස්හත්වන වසරේදී මරණයට පත්විය. තවද කුෆාවේ පළමුවෙන්ම භූමදාන කරනු ලැබුවේ මෙතුමාවය. මෙතුමා මරණයට පත්වූ පසු මෙතුමාගේ කබ්රය අසලට ගිය අලි රලියල්ලාහු අන්හු තුමා
,

" අල්ලාහ් තආලා :හබ්බාබ් ඉබ්නු අරත් රලියල්ලාහු අන්හුතුමාට කරුණාව දක්වත්වා! එතුමා තම කැමැත්තෙන්ම ඉස්ලාමය වැළඳ ගත්තේය. සතුටින් හිජ්රත්ද කළේය. දීනුල් ඉස්ලාමය වෙනුවෙන් සටන් කරමින් තම ජීවිතයද ගත කළේය. මෙමගින් ඇතිවුණු අධික දුක් කරදර වේදනා ඉවසා දරා ගත්තේය. මෙලෙසම විනිශ්චය දිනය මතකයෙහි තබා තමන්ව ප්‍රශ්න විමසුමට සූදානම් කරගෙන, මෙලොව ජීවිතය ගත කිරීම සඳහා ලැබුණු දේවල් වලින් පමණක් සෑහීමට පත්වී තම ස්වාමියාණන්ව සතුටට පත්කළ මිනිසාම උත්තමයෙකු වේ" යැයි පැවසුවේය. 

උගත යුතු පාඩම :-

ඇත්තෙන්ම තම "රබ්" වූ අල්ලාහ් තආලාව සතුටට පත් කිරීම එම සහාබාවරුන්ගේ සිරිත විය. එම උත්තමයන්ගේ ජීවිත්යේ සෑම ක්‍රියාවක්ම තම "රබ්"ව සතුටට පත් කිරීමක් ව තිබුණි.

No comments:

Post a Comment