07. අම්මාර් රලියල්ලාහු අන්හුතුමා හා එතුමාගේ දෙමව්පියෝ

අම්මාර්  රලියල්ලාහු අන්හුතුමාට හා එතුමාගේ දෙමව්පියන්ට අධික දුෂ්කරතා හා වේදනා දෙනු ලැබීය. මක්කා නගරයේ රත්වූ වැලි පොළව මත තබා ඔහුට වේදනා දෙනු ලැබුණි.

රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණෝ එදෙසින් යන විටදී ඉවසීමෙන් සිටින ලෙසද, ස්වර්ගය ලැබෙනු ඇතැයි ද සුභාරංචි පවසති. අවසානයේදී අම්මාර් රලියල්ලාහු අන්හු තුමාගේ පියා වන යාසිර් රලියල්ලාහු අන්හු තුමා එම දුෂ්කරතා හේතුවෙන්ම මරණයට පත් වූයේය. එම අපරාධකරුවන් එතුමා මැරෙන තුරු සැනසීමෙන් සිටීමට ඉඩ නොදුන්හ. 

ශාපයට ලක්වූ අබූ ජහ්ල්, අම්මාර් රලියල්ලාහු අන්හු තුමාගේ මව වන සුමෙයියා රලියල්ලාහු අන්හා තුමියගේ රහස් අංගයට හෙල්ලෙන් ඇන්නේය. ඒ හේතුවෙන් එතුමිය ෂහීද් නම් වීර මරණයට පත්වූවාය. ඉතා මහළු වියේදී දුබලව සිටියද, එතුමිය ඉස්ලාමය අත්නොහැරියාය. එතුමියගේගේ මහළු භාවය හා දුබලකම පවා එම අපරාධකරු සැළකුවේ නැත. ඉස්ලාමය වෙනුවෙන් වීර මරණය ලැබීමේ භාග්‍යය මෙතුමියට හිමිවිය. ඉස්ලාමයේ පළමුවෙන්ම ෂහීද් බවට පත්වූයේ මෙතුමියයි. 

ඉස්ලාමයේ පළමුවෙන්ම මස්ජිදයක් ගොඩනැගීමේ ගෞරවය අම්මාර් රලියල්ලාහු අන්හු තුමාට හිමිවේ. රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් හිජ්රත් කර, මදීනාවට ගිය අවස්ථාවේදී එතුමාණන් රැඳී සිටීමටත්, දහවල් කාලයේ විවේක ගැනීමටත්, සලාතය ඉටු කිරීමටත්, අම්මාර් රලියල්ලාහු අන්හු තුමා " කුබා " නම් ස්ථානයේ තමාම ගල් එකතු කර මස්ජිදයක් ගොඩ නැගුවේය.

"අම්මාර් රලියල්ලාහු අන්හු තුමා ජිහාද් වලට බොහෝ උනන්දුවෙන් සහභාගී වූයේය. වරක් සටනට සහභාගී වූ එතුමා බොහෝ සතුටින් " මම දැන් මගේ මිතුරන් වන රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන්ව හා එතුමාණන්ගේ යහළුවන්ව මුණගැසීමට යමි " යි කීය. එහිදී ඔහුට පිපාසය ඇතිවී ළග සිටි කෙනෙකුගෙන් වතුර ඉල්ලුවේය. ඔහු වතුර වෙනුවට කිරි ගෙනැවිත් දුන්නේය. එය පානය කළ පසු " මෙලොවේ අවසන් වරට නුඹ කිරි පානය කරණු ඇත" යි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් පවසනු මා අසා ඇත්තෙමි" යැයි කීය. පසුව ෂහීද් නම් වීර මරණයට පත්විය. එවිට එතුමාගේ වයස අවුරුදු අනූහතරකි. සමහරු වසර බාගයක් අඩුවෙන්ද කියා ඇත.

No comments:

Post a Comment