09. උමර් රලියල්ලාහු අන්හුතුමා ඉස්ලාමය වැළඳ ගැනීම හා එතුමාගේ සහෝදරිය වින්ද දුක් කරදර

උමර්  රලියල්ලාහු අන්හුතුමා ගේ නම කීමෙන් අද ද මුස්ලිම්වරු ආඩම්බර වෙති. එතුමාණන්ට තිබූ ස්ථිර වූ ඊමානය සියවස් දහතුනක් ගත වුවද කාෆීර්වරුන්ගේ සිත්තුළ බියක් ඇතිකර තිබේ. එතුමා ඉස්ලාමය පිළිගැනීමට පෙර මුස්ලිම්වරුන්ට විරුද්ධව ඔවුන්ට දුෂ්කරතා දීමෙහිද විශේෂ තැනක් දැරූහ. තවද රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන්ව ඝාතනය කර දැමීමට අවස්ථාවක් බලාපොරොත්තුවෙන් සිටියේය. 

දිනක් කාෆීර්වරු  ඔවුන්ගේ සාකච්ඡා සභාව කැඳවා "රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන්ව ඝාතනය කරන්නේ කව්ද" යි ඇසූහ. එවිට උමර් රලියල්ලාහු අන්හු තුමා " මම එය කරන්නෙමි" යි පැවසූහ. "නිසැකවම එයට සුදුස්සා ඔබයි" යනුවෙන් එහි සිටි අය කීහ.

උමර් රලියල්ලාහු අන්හු තුමා කඩුවද එල්ලාගෙන එතැනින් නැගිට ගියේය. මෙම චේතනාවෙන් එතුමා යමින් සිටියදී zසහ්රා ගෝත්‍රයට අයත් ස:ද් ඉබ්නු අබී වක්කාස් රලියල්ලාහු අන්හු තුමාව මගදී හමුවිය. ( හමුවූ තැනැත්තා වෙනත් කෙනෙක් යැයිද සඳහන් වේ )  

"ඒ උමර්! කොහි යන්නේද? " යි ස:ද් රලියල්ලාහු අන්හු තුමා ඇසූ විට " මුහම්මද් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන්ව ඝාතනය කිරීමට යන්නෙමි " යි පිළිතුරු දුන්නේය. ( අල්ලාහ් තආලා ආරක්ෂා කරත්වා ! ) මෙය ඇසූ ස:ද් රලියල්ලාහු අන්හු තුමා බනූ හාෂිම්, බනූ zසහ්රා, බනූ අබ්දුල් මනාෆ් යන ගෝත්‍රිකයන්ගෙන් ඔබට බේරිය හැකිද? ඔවුන් එතුමාණන් වෙනුවට ඔබව මරාදමනු ඇතැයි කීවේය. 

මෙම පිළිතුරු ඇසූ උමර් රලියල්ලාහු අන්හු තුමා කෝපයට පත්වී " නුඹත් මුස්ලිම් වූ බව පෙනේ" එසේනම් පළමුවෙන් නුඹගේ කර්යය අවසන් කළයුතු යැයි පවසමින් කඩුව අතට ගත්තේය.

ස:ද් රලියල්ලාහු අන්හු තුමා
" එසේය ! මා ද මුස්ලිම් වුනෙමි" යි කියා කඩුව අතට ගත්තේය.

දෙදෙනාම සටනට සූදානම් වූ විට ස:ද් රලියල්ලාහු අන්හු තුමා " පළමුව නුඹගේ ගෙදර තත්වය දැන ගනු ! නුඹගේ සහෝදරියත් ඇගේ සැමියාත් මුස්ලිම් වී ඇත" යි කීය. මෙය ඇසූ වහාම කෝපයට පත්වූ උමර් රලියල්ලාහු අන්හු තුමා එවෙලේම තම සහෝදරියගේ නිවසට ගියේය.  




එහි :හබ්බාබ් ඉබ්නු අරත් රලියල්ලාහු අන්හුතුමා නිවසේ දොර වසාගෙන අඹුසැමි යුවළට කුර්ආනය කියාදෙමින් සිටියේය. ( :හබ්බාබ් ඉබ්නු අරත් රලියල්ලාහු අන්හුතුමාගේ පුවත 6 වෙනි සිද්ධියේ පවසා ඇත.) උමර් රලියල්ලාහු අන්හු තුමා දොර අරින ලෙස ශබ්ද නගා කීය.  එතුමාගේ හඩ ඇසූ :හබ්බාබ් ඉබ්නු අරත් රලියල්ලාහු අන්හුතුමා නිවසේ මුල්ලක සැඟවුණේය. ශුද්ධ කුර්ආනයේ ආයත් ලියන ලද පිටපත් එහිම දමා ගොස් තිබුණි.

දොර අරින ලද තම සහෝදරියගේ හිසට උමර් රලියල්ලාහු අන්හුතුමා අතේ තිබූ ආයුධයෙන් පහරක් ගැසුවේය. මේ නිසා ඇගේ හිසෙන් ලේ ගලන්නට විය.


"හැතිරිය, නුඹත් ආගම වෙනස් කළාද? " යි ඇසූ උමර් රලියල්ලාහු අන්හු තුමා නිවස තුළට ගොස්, "ඔබලා මෙහි කුමක් කරමින් සිටියේද? මඳකට කළින් ඇසුණේ කාගේ කටහඩද?" යි ඇසුවේය. " අපි කතා කරමින් සිටියෙමු " යි ඇගේ සැමියා කීවේය. උමර් රලියල්ලාහු අන්හු තුමා " නුඹලා නුඹලාගේ ආගම අත්හැර වෙනත් ආගමක් තෝරා ගත්තේද" යි ඔහුගෙන් ඇසීය. එයට ඔහු " එම වෙනත් ආගම සත්‍ය එකක් වූවත්ද? " යි ඇසුවේය.

මෙම පිළිතුර ඇසූ වහාම උමර් රලියල්ලාහු අන්හු තුමා ඔහුගේ රැවුල අල්ලා ඇද ඉතා වේගයෙන් පහර දී බිමට තල්ලු කර හොඳින් පහ දුන්හ. සැමියා බේරා ගැනීමට පැමිණි සහෝදරියගේ මුහුණට වැරෙන් පහරක් එල්ල කළේය. ඇගේ මුහුණින් ලේ ගලන්නට විය. 

එම කාන්තාවද උමර් රලියල්ලාහු අන්හු තුමාගේ සහෝදරිය නොවේද? මේ නිසා, " උමර් ! අපට පහර දෙන්නේ ඉස්ලාමය වැළඳගත් නිසා නොවේද? නියත වශයෙන්ම අපි මුස්ලිම් වුනෙමු. ඔබට කුමක් කළ හැකිද එය කරන්න. " යැයි කීවාය.  

හොඳින් පහර දුන් නිසා උමර් රලියල්ලාහු අන්හු තුමාගේ කෝපයේ වේගය මඳක් අඩුවී, දමා ගොස් තිබුණු ශුද්ධ කුර්ආනයේ පිටපත් වෙත ඔහුගේ නෙත් යොමු විය. ලේ වලින් තැවරුණු සහෝදරිය දෙස බලා ලැජ්ජාවට පත්ව " හොඳයි! ඒ පිටපතෙහි කුමක් තිබේදැයි මට පෙන්වන්න" යැයි ඉල්ලා සිටියේය. " ඔබ අපිරිසිදුව සිටින්නේය, ඔබගේ අත් වලින් මෙය ඇල්ලිය නොයුතුයි. " යනුවෙන් එම සහෝදරිය කීවාය. උමර් රලියල්ලාහු අන්හු තුමා කිහිප වරක් බලකර පැවසුවද ස්නානය කර වුළූ කරන තුරු එය දීමට ඇය ප්‍රතික්ෂේප කළාය. 


අවසානයේ කිසිවක් කළ නොහැකිව ස්නානය කර පැමිණි උමර් රලියල්ලාහු අන්හු තුමා එය ඉල්ලා කියෙව්වේය. එහි " තාහා" නම් සූරාහ්ව ලියවී තිබුණි. එය කියවීමට පටන් ගත් උමර් රලියල්ලාහු අන්හු තුමා,


إنني أنا الله لا إله إلا أنا فاعبد ني و أ قيم أ لصلاة لذ كري




නියත වශයෙන්ම මම අල්ලාහ් වෙමි. මා හැර නැමදීමට සුදුසු අන් කිසිවෙකු නොමැත. එම නිසා මාවම නමදින්න. මා මතක් කිරීම සඳහා සලාතය ඉටු කරන්න.
                                                                                 (සූරාහ් තාහා : 14)


යන අර්ථය දෙන අල් කුර්ආන් ආයතය කියවූ විගස උමර් රලියල්ලාහු අන්හු තුමා තුළ වෙනසක් ඇති විය. " හොඳයි මාව රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් වෙත කැඳවා ගෙන යන්න" යි කීවේය.

මෙය අසා සිටි :හබ්බාබ් ඉබ්නු අරත් රලියල්ලාහු අන්හුතුමා ද එළියට පැමිණ " උමර්! ඔබට සතුටුදායක ආරංචියක් කියමි. එනම් ඊයේ බ්‍රහස්පතින්දා රාත්‍රියේ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් අල්ලාහු තආලා ගෙන් " යා අල්ලාහ්! උමර් , අබූ ජහ්ල් යන දෙදෙනාගෙන් ඔබ කවරෙකු ප්‍රිය කරන්නේද ඔහු මගින් ඉස්ලාමය ශක්තිමත් කරන්න." යනුවෙන් දුආ කළහ.  එම දුආව ඔබ සම්බන්ධයෙන් පිළිගෙන ඇති බව පෙනේ. " යැයි කීවේය. ( ඊට හේතුව මෙම දෙදෙනා ප්‍රසිද්ධ වීරවරුන් වීමය.) 


පසුව උමර් රලියල්ලාහු අන්හු තුමා රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන්ගේ සභාවට ගියේය. එදින ( සිකුරාදා උදේ) ඉස්ලාමය වැළඳ ගත්තේය. 


උමර් රලියල්ලාහු අන්හු තුමා මුස්ලිම් වූ වහාම කාෆීර්වරුන්ගේ ශක්තිය පිරිහීමට පටන් ගත්තේය. නමුත් මුස්ලිම්වරුන්, ඉතා අඩු සංඛ්‍යාවක් සිටියහ. එවිට මක්කා නගරයේ කාෆීර්වරුන් පමණක් නොව අරාබි දේශයේ සියළු දෙනාම කෝපයට පත්ව එක්රැස්වී සාකච්ඡා කර මුස්ලිම් වරුන්ව මුලින් උපුටා දැමීමට නොයෙක් ආකාරයට සැලසුම් කර උත්සාහ දැරූහ. නමුත් ප්‍රසිද්ධියේ ක:බාවට ගොස් සලාත් කිරීමට තරම් මුස්ලිම්වරු ශක්තිමත් වූහ.




" උමර් රලියල්ලාහු අන්හු තුමා ඉස්ලාමය වැළඳ ගැනීම මුස්ලිම්වරුන්ට ජයග්‍රහණයක් විය. එතුමාණන් හිජ්රත් යෑම මුස්ලිම්වරුන්ට උදව්වක් විය. එතුමා :හලීෆා ලෙස පත්වීම මුස්ලිම්වරුන්ට රහ්මතයක් විය. " යනුවෙන් අබ්දුල්ලාහ් ඉබ්නු  මස්ඌද් රලියල්ලාහු අන්හු තුමා පවසා තිබේ. ( ග්‍රන්ථය : උස්දුල් :ගාබා)

1 comment:

  1. ඉතා හොද ලිපියක් බොහෝම ස්තූති

    ReplyDelete